බෞද්ධයාට මස් කෑම තහනම් ද?
මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමි
මස් මාංස ආහාරයට ගැනීම පිළිබඳ මත දෙකක් අප සමාජය තුළ නිර්මාණය වෙමින් පවතී. ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය පවත්නා ශ්‍රී ලංකාව, තායිලන්තය, බුරුමය, ලාඕසය, කාම්බෝජය වැනි රටවල මස් මාළු ආහාරයට ගැනීම සාමාන්‍ය පුරුද්දක් වේ. තමා විසින් තමා වෙනුවෙන් සතකු නොමරන මේ බෞද්ධයෝ වෙළෙඳපොළෙහි විකිණීමට තිබෙන මස් මාළු ආහාරයට ගන්නා අතර, මහා සංඝයාට ද පිළිගන්වති. එය ඔවුහු පවක් ලෙස නො සලකති.
එනිසා, ත්‍රිපිටක ග්‍රන්ථයන්හි එන ‘ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය’ හෙවත් ‘පවත්ත මාංසය’ යනුවෙන් හඳුන්වනු ලබන, එදිනෙදා පරිභෝජනය කරන්නා වූ, වෙළෙඳපොළෙන් මිලට ගත් මස් මාළු ආහාරයට ගන්නා බෞද්ධයන් සැබැවින් ම ප්‍රාණඝාත අකුසලයට හසු වන්නේ ද? මස් මාළු ආහාරයට ගනිමින් මෛත්‍රි භාවනාව වැඩිය නොහැකි ද? යන උභතෝකෝටික ගැටලුවලට මුහුණ පෑමට සිදු ව ඇත. අප මෙහිලා උත්සාහ ගන්නේ ත්‍රිපිටකාගත ධර්ම කරුණු හා මේ පිළිබඳ ඓතිහාසික වූත් ප්‍රායෝගික වූත් හේතු සාධක උපයෝගී කරගනිමින් මෙම ගැටලුව විමර්ශනය කිරීමට යි.
යම් ධර්ම කරුණක් පිළිබඳ ඇති වන ගැටලුවක් නිරාකරණය කිරීමේ දී අනුගමනය කළ යුතු පර්යේෂණ විධි ක්‍රමයක් බුද්ධ දේශනාවෙහි පෙන්වා දී ඇත. කාලාම සූත්‍රයෙහි දැක්වෙන දස වැදෑරුම් වූ ඥාන මාර්ගයන් හා බැඳුණු නිදහස් විමර්ශනයත්, මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දැක්වෙන මහාපදේශ ක්‍රමයත්, සමන්තපාසාදිකාවෙහි එන මහාපදේශ ක්‍රමයත් මෙහි ලා වැදගත් වේ. මෙකී පර්යේෂණ ක්‍රම මෙහි ලා අනුගමනය කෙරේ.
මහාපදේශ යනු සුත්ත, සුතනුලෝම, ආචරියවාද හා අත්තනොමත යන සතර යි. එනම්, පළමුකොට ත්‍රිපිටකාගත සූත්‍ර අනුසාරයෙන් විවරණය වන ධර්මය පිළිබඳ ව විමසිය යුතු ය. දෙවනු ව සුතනුලෝම යනු මෙම සූත්‍රාගත ධර්මය විවරණය වන අටුවා, ටීකා ආදිය පරීක්‍ෂා කළ යුතු ය. තුන්වනු ව ආචරියවාද නම් වූ ගුරුකුල විසින් දැක්වූ මතයන් පරීක්‍ෂා කොට අවසානයේදී අත්තනෝමතයට තැන දෙමින් තම මතය ඉදිරිපත් කළ යුතු ය. මේ අත්තනෝමතය ඉදිරිපත් කිරීමේදී පවා සූත්‍රවලට ගැළපේ නම් පමණක් පිළිගත යුතු බව සමන්තපාසාදිකාවෙන් අවධාරණය කොට ඇත.
විනය ශික්‍ෂාපද කෙරෙහි ගෞරවයෙන් යුතු ව ඒවා උල්ලංඝනය නොකොට ක්‍රියා කළ යුතු ය. ධර්ම විනය ආරක්‍ෂා වන්නේ එවිට යි. ලාභ සත්කාර අපේක්‍ෂාවෙන් යුතු ව විනය ශික්‍ෂාපද කඩන බහුශ්‍රැතයෙක් වුව ද ලජ්ජා රහිත කෙනකු ලෙස සැලකේ. ඔහු ධර්ම විරෝධී, විනය විරෝධී, ශාස්තෘ සාසනයෙහි මහත් උපද්‍රව ඇති කරන, සංඝයා අතර භේදයන් ඇති කරන කෙනෙකි. විනය ශික්‍ෂාපද කැඩීමෙහි ලජ්ජා ඇති, සැක ඇති ශික්‍ෂාකාමී තැනැත්තා ජීවිතය නිසාවත් පෙළට හෙවත් මූල ග්‍රන්ථවලට වැරදි අදහස් නොදී නිවැරදි අදහස් දක්වා ධර්ම විනය බබළවයි. මෙහිදී සූත්‍රාගත ධර්මය උඩින් පල්ලෙන් කියවා විනිශ්චය නොකොට ඉතා පිරිසිදු ලෙස මැනවින් ප්‍රගුණ කර එළැඹෙක නිගමනයන් ‘අසංහීර’ යනුවෙන් දක්වන සමන්තපාසාදිකාව එබඳු මතයන් පහනක් දැල්වූ සේ බබළන බව සඳහන් කරයි.
ත්‍රිපිටකාගත තොරතුරු අනුව බුදුරදුන් දවස පටන් මස් මාළු ආහාරයට ගැනීම පාපයක් ලෙස සලකා නොමැත. බුදුන් වහන්සේ හා ශ්‍රාවක සංඝයා පිණ්ඩපාතයෙහි යෙදෙන අවස්්ථාවේදී බෙදන ලද මස් මාළු ව්‍යංජන සියල්ල පිළිගත්තාහ.

ඉන්දියාව සැලකිල්ලට ගත් විට එරට ග්‍රාමීය ප්‍රදේශයන්හි මාළු ආහාරයට ගන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර, ඌරු මස් බහුල ආහාරයක් වේ. ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ නිවෙස්හි ඌරෝ බහුල ව වැඩෙති. කැලිකසළ කමින් වැඩෙන ඌරන් පෝෂණය කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවන නිසා ඌරු මස් එම සමාජය තුළ බහුල වී ඇත. බුදුන් වහන්සේට හා ශ්‍රාවකයන්ට නිතර ඌරුමස් පුදා ඇත්තේ මේ නිසා ය.
චීන ආගමික ග්‍රන්ථයන්හි චුන්ද විසින් පිළිගැන්වූ අවසාන දානයෙහි ‘සූකර මද්දවය’ විග්‍රහ කොට ඇත්තේ සඳුන් ගසෙහි හටගත් ඌරු කන් බඳු වූ හතු විශේෂයකින් සෑදූ ව්‍යංජනයක් ලෙස ය. සූකර මද්දවය පිළිබඳ මතභේදය කුමක් වුවත් ත්‍රිපිටකාගත තොරතුරුවලට අනුව පැහැදිලි වන දෙයක් නම් බුදුන් වහන්සේ හා භික්‍ෂු සංඝයා මස් මාළු පිළිගත් බව යි. මේ හැම විට උන් වහන්සේලා විසින් පිළිගනු ලැබුයේ ප්‍රාණඝාත ශික්‍ෂාපදයට හසු නොවන්නා වූ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය යි. මේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය යනු කුමක් ද?
ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය පිළිබඳ ව විනය නීති පැනවෙන්නේ සීහ සේනාපති නිවෙසේ පිදෙන දානයට අදාළ ව ය. සීහ වෛශාලියෙහි විසූ ලිච්ඡවී සෙන්පතියෙකි. ඔහු නිගණ්ඨනාත පුත්තගේ ප්‍රධාන දායකයෙක් විය.
දිනක් බුදුරදුන් හමු වීමට ගිය සීහ උන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදී සෝවාන් ඵලයට පත් වී බෞද්ධ උපාසකයකු බවට පත් වීය. සීහ සේනාපති බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පසුදා තම නිවෙසෙහි දානය සඳහා වැඩම කිරීමට ආරාධනා කළේ ය.
දානය සඳහා මස් ව්‍යංජනයක් ද පිදීමට ඔහුට අවශ්‍ය විය. ඒ සඳහා සීහ වෙළෙඳපළට සේවකයකු යැවීම ගැන මෙසේ දැක්වේ: ‘අථ ඛො සීහො සෙනාපති අඤ්ඤතරං පුරිසං ආණාපෙයි ගච්ඡ භණෙ පවත්ත මංසං ජානාහීති. මෙහිදී සීහ තම සේවකයාට අවධාරණය කළේ පවත්ත මංස, එනම් විකිණීමට තිබෙන මසක් මිල දී ගෙන එන ලෙස ය.

1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං) මාංසය
2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං) මාංසය
3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නැති (අපරි සංබිතං) මාංසය
බුදුන් වහන්සේ මෙම චෝදනාවෙන් පසු ව සවස් වරුවෙහි භික්‍ෂූන් රැස් කරවමින්, භික්‍ෂූන් ඉහත කී ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය ම පමණක් වැළඳිය යුතු යැ යි විනය නීතියක් පැනවූ හ. මෙයින් එක් කරුණක් හෝ පිළිගැන්වූ මස් මාළු පිළිබඳ ව අදාළ වේ නම් එබඳු දෑ නොවැළඳිය යුතු ය. එබඳු මසක් මාළුවක් පිළිගත්තේ නම් එම භික්‍ෂූන් දුක්කට ආපත්තියකට පත් වන්නේ ය. ‘න භික්ඛවෙ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවෙ, තිකොටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසංඛිතංති.’
චීන ත්‍රිපිටකයේ නිකාය ග්‍රන්ථ හඳුන්වනු ලබන්නේ ‘ආගම’ ග්‍රන්ථ යනුවෙනි. චීන මජ්ක්‍ධිම නිකායෙහි හෙවත් මජ්ඣිම ආගමෙහි සීහ සේනාපති හා බුදුරදුන්ගේ හමුව විස්තර වී තිබුණත් සීහ විසින් පසුදින පිළිගන්වන ලද දානය ගැන කිසිවක් සඳහන් නො වේ. එසේ ම මජ්ඣිම ආගමෙහි ජීවක සූත්‍රයෙහි බුදුරදුන් විසින් භික්‍ෂූන් සඳහා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය අනුමත කිරීමේ කාරණය ද ඉවත් කොට ඇත.
මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි රාජකීය වෛද්‍යවරයා වන කෝමාරභච්ච ජීවක තුමා බුදුරදුන් හමුවට ගොස්, බුදුන් උදෙසා මරන ලද සතුන්ගේ මස් වළඳන බවට රටේ කතාවක් පැතිරී තිබෙන බව පවසා, එය සත්‍යයක් දැ යි විමසා සිටියේ ය. එහිදී බුදුන් වහන්සේ ජීවකට කරුණු පැහැදිලි කරදෙමින් එය අභූත චෝදනාවක් බවත්, එහෙත් කරුණු තුනකින් පිරිසිදු වූ මස් මාංස, එනම්, ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය අනුමත කරන බවත් පැවසූ හ.
තවදුරටත් බුදුරදුන් ඒ පිළිබඳව විස්තර කරමින් “ජීවකයෙනි, තථාගතයන් වහන්සේ හෝ භික්‍ෂූන් සඳහා මස් පිණිස යැ යි කියා සතකු ගෙනෙන්නැ යි අණ කරන්නාටත්; එසේ සත්ත්වයකු ගෙන එන්නාටත්; එම සතා මරව යි කියන්නාටත්; සතා මරන්නාටත්; මරා, මෙය තථාගතයන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකයන් උදෙසා මරන ලද්දේ යැ යි පවසන තැනැත්තාටත් බොහෝ අකුසල රැස් වන්නේ යැ” යි, පැහැදිලි කළහ.
මෙම දීර්ඝ විස්තරයෙන් ජීවක රටෙහි පැතිරී ඇති කටකතාව අසත්‍යයක් බව අවබෝධ කරගත් අතර, “භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේත් භික්‍ෂු සංඝයාත් තමන්ට කැප වූ ම නිවැරදි වූ ම ආහාර වළඳති” යි, ප්‍රශංසා කළහ. ‘කප්පියං වත භන්තේ භික්ඛු ආහාරං ආහාරෙන්ති අනවජ්ජං වත භන්තේ භික්ඛු ආහාරං ආහාරෙන්ති.’
මෙහිලා සීහ සේනාපති හා ජීවක යන දෙදෙනා ම නිගණ්ඨනාත පුත්තගේ දායකයන් වූ අතර, ඔවුන් දෙදෙනා ම මස් මාළු වැළඳීම පිළිබඳ ව බුදුන් වහන්සේට හා භික්‍ෂූන්ට චෝදනා නො කළහ. ඔවුන් චෝදනා කළේ තමන් උදෙසා මරන ලද සතකුගේ මස් මාංස අනුභවය පිළිබඳ ව ය. උද්දිස්සකත මාංසය වැළඳීම ප්‍රාණඝාත අකුසලයට හසු වන බවත්, පවත්ත මාංසය හෙවත් මරා විකිණීම පිණිස ඇති මසක් යමෙක් මිලට ගෙන යෑමත්, එය දානය සඳහා පිදීමත් පවක් නො වන බවත් ඔවුහු දැන සිටියහ. මේ අනුව ජෛනයන් පවා තමන්ට ලැබුණු පවත්ත මාංසය වළඳන්නට ඇති බව සිතිය හැකි අතර, මස් මාංස කෑමෙන් ජෛනයෝ වැළකී සිටි බවක් කිසිදු තැනක සඳහන් නො වේ.
ජීවක සූත්‍රයෙහි එන ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය බුදුරදුන් භික්‍ෂූන්ට කැප යි අනුමත කළ සිද්ධිය චීන මජ්ඣිම ආගමෙහි නොදැක්වුවත්, සංස්කෘත භාෂාවෙන් රචිත මූල සර්වාස්තිවාදීන්ගේ විනයෙහි ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය අනුමත කර ඇත. ‘භික්ඛවෙ ත්‍රිණි කල්පිකාහි මංසාති පරිභොක්තව්‍යානි වදාමි තානි අදෘෂ්ටම් අසෘතම් අපරි විතර්කම්.’ මහායානිකයන් හැර සෙසු හීනයාන නිකායිකයෝ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය වැළඳූ බව මෙයින් පැහැදිලි වේ.
බුදුන් වහන්සේ හා බුද්ධ ශ්‍රාවකයෝ තමන් උදෙසා මැරූ සත්ත්වයන්ගේ මස් වළඳති, යන චෝදනාව රටෙන් නැගෙන බව ජීවක පැවසූයේ සීහ සේනාපතිගේ නිවෙසේ සිදු වූ සිද්්ධියෙන් පසුව නිගණ්ඨයන් විසින් කළ සාවද්‍ය ප්‍රචාරය නිසා ය. මෙහිලා බුදුන් වහන්සේ ජීවකට කරුණු පහදා දෙමින් භික්‍ෂුවක් සතර දිසාවේත්, උඩ යට දිසාවේත්, සියලු සතත්වයන්ට මෛත්‍රිය වඩද්දී, අවෛර අව්‍යාපාද සිතුවිලි වඩද්දී, එබඳු කෙනෙක් ප්‍රාණඝාත අකුසලයකට කෙසේ අනුබල දෙත් දැ යි පැහැදිලි කළහ. එබඳු මෛත්‍රී සහගත ව අවෛරී ව, අව්‍යාපාද සිතුවිල්ලෙන් යුත් භික්‍ෂුවකට යම් ගෘහපති පුත්‍රයකු පිණ්ඩපාතය වළඳවන විට ‘මේ ගෘහපති පුත්‍රයා ප්‍රණීත ආහාරයෙන් මා සන්තර්පණය කෙරේවා’ ය, නොසිතත් නම් ඒ පිණ්ඩපාතය කෙරෙහි ගිජු නො වී රස තෘෂ්ණාවෙන් නොවළඳන, උපේක්‍ෂාවෙන් වළඳන භික්‍ෂුවක් කෙසේ නම් තමන් උදෙසා මැරූ සතකුගේ මස් මාංස අනුභව කෙරෙත් දැ යි පැහැදිලි කරමින්, යමකු එබඳු ආශාවන් ප්‍රහීණ කළ තථාගතයන් උදෙසා හෝ ශ්‍රාවකයකු උදෙසා සත්ත්වයකු ගෙන ඒමට විධානය කිරීමෙන්, ගෙන ඒමෙන්, මැරීමට විධානය කිරීමෙන්, මැරීමෙන්, තථාගතයන් උදෙසා මැරූ සත්ත්වයකුගේ මස් වැළඳී ය’ යි චෝදනාවක් කිරීමෙන් බොහෝ පව් රැස් කරගන්නේ යැ යි පැහැදිලි කළහ.
ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය පිළිබඳ එකල දායකදායිකාවන්ට ද සැකයක් නොතිබුණු බව අංගුත්තර නිකායේ මනාපදායි සූත්‍රයෙන් ද මනා ව පැහැදිලි වේ.
‘මනාප දෑ පිදීමෙන් මනාප දෑ ලැබේ’ යනුවෙන් බුදුරදුන්ගේ ඇසූ ධර්මයක් සිතට ගත් උග්ග නම් වූ ගෘහපති පුත්‍රයෙක් තමන් අතිශයින් පි‍්‍රය කරන වට්ටෝරුවක් අනුව පිළියෙල කරගත් ආමිස දානයක් බුදුරදුන්ට ගෙනැවිත් පූජා කළේ ය. මේ ආහාර අතර ඩෙබර පල මිශ්‍ර කොට සෑදූ ඌරු මස් ව්‍යංජනයක් ද තිබිණි.
මෙහිදී උග්ගට තමන් අතිශය පි‍්‍රය කරන අඟල් සතරක් පමණ දිග බැටළු ලොම් සහ කළු එළු ලොම් මිශ්‍ර කොට සැකසූ ඇතිරිලි හා ඉතා වටිනා උඩුවියන් සහිත යහනක් බුදුරදුන්ට පූජා කිරීමට අවශ්‍ය වීය. එය භික්‍ෂූන්ට කැප නොවන බව දැනගන්නට ලැබිණි. ඒ නිසා ඔබ වහන්සේට ඉතාමත් වටිනා සඳුන් ලීයෙන් තැනූ පාදුකාවක් ගෙන ආවෙමි යි, පවසා භාග්‍යවතුන් වහන්ස, එය පිළිගන්නා සේක්වා, යි බුදුරදුන්ට පිළිගැන්වී ය. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් බුදුන් වහන්සේ එම ආහාර හා ගරුභාණ්ඩය පිළිගත්තාහ.
මෙයින් මනා ව පැහැදිලි වන්නේ සුඛෝපභෝගි උච්ඡාසයන මහාසයනයන් පිළිගැනීම භික්‍ෂූන්ට අකැප වූ බවත්, මස් මාළු පිළිගැනීම අකැප නොවන බවත් දායක පක්‍ෂය මනා ව දැන සිටි බව යි. ද
No comments:
Post a Comment
ඔබගේ කාරුණික අදහස ලියන්න