13 October 2012

පිනක් අනුමෝදන් වෙන්නට බැරි වුණොත්….

පිනක් අනුමෝදන් වෙන්නට බැරි වුණොත්….

” න වේ කදරියා දේවලෝකං වජන්ති – බාලා හවේ නප්පසංසන්ති
දානංධීරෝ ච දානං අනුමෝදමානෝ – තේනේව සෝ හෝති සුඛී පරත්ථ “

එක් කාලයක අපගේ බුදුරජාණන් වහන්සේ පන්සියයක් භික්ෂූන් පිරිවරාගෙන චාරිකාවේ වැඩියා. ඒ අතරේ සැවැත් නුවර ජේතවනාරාමයටත් වැඩියා. එතකොට කොසොල් රජතුමාත්, නගරවාසීනුත් තරෙඟට වගේ දන් දෙන්න පටන් ගත්තා. අවසානයේදී මල්ලිකා දේවියගේ උපදෙස් පරිදි කොසොල් රජතුමා විසින් බුදුරජාණන් වහන්සේ නමකට එක් වරක් පමණක් ලැබෙන මහා අසදිසි දානය පූජා කරගන්නට කල්පනා කළා.
ඒ දානය සඳහා අලංකාර සාල වෘක්ෂයන්ගෙන් සැදුම් ලත් වට රවුමින් යුතු නිසීදන මණ්ඩප පන්සීයක් කරවූවා. ඒ නිසීදන මණ්ඩපයේ පිටතින් තමයි භික්ෂූන් වැඩහිටියේ. ඊට ඉහළින් සුදු මුතු කුඩ පන්සීයක් කරවලා තිබුණා. ඒවා ඔසොවාගෙන හිටියේ පන්සීයක් හස්තිරාජයන් විසිනුයි. රන් රිදී මුතු මැණිකෙන් කළ නැව් අටක් – දහයක් තනවා ඒවා අර මණ්ඩප මැදින් තැබුවා. භික්ෂූන් වහන්සේලා දෙනමක් අතර රාජකුමාරිකාවන් වාඩි කරවූවා. ඔවුන් සුවඳ සඳුන් අඹරද්දි එක් එක් රාජකුමාරිකාවක් වටාපතකින් පවන් සැලූවා. තවත් රාජකුමාරිකාවරු අර අඹරන සුවඳ වර්ග නැවට දැම්මා. තවත් රාජකුමාරිකාවරු කළ යුත්තේ ඒ නැව්වල දැමූ සුවඳ පිණි දියෙන් කළතා, නිල් මහනෙල් මල් මිටි වලින් ගෙන ඉසුවා. මේ විදිහට මහා උත්කර්ෂවත් අන්දමින් මේ දානය සංවිධානය කර තිබුණා.
රජතුමාට හරී සතුටුයි. බුදුන් ප‍්‍රමුඛ සංඝයාට වන්දනා කළා. ”ස්වාමීනී, මෙම දානයෙහි කැප අකැප යම් බඩු භාණ්ඩ ඇද්ද, ඒසියල්ලම නුඹවහන්සේට පූජා වේවා!” කියලා පූජා කළා.
මේ දානයේදී එක දවසකට කෝටි දාහතරක් වියදම් කළා. බුදුරජාණන් වහන්සේ වෙත පැණවූ මුතු කුඩයත්, වාඩිවෙන ආසනයත්, මේසයත්, පා පුටුවත් යන මේ භාණ්ඩ හතරත් ගොඩාක් වටිනවා. මෙවැනි දානයක් බුදුරජාණන් වහන්සේට ලැබෙන්නේ එක් වරයි. මේ දානය සම්පූර්ණයෙන්ම සංවිධානය කළේ කාන්තාවන් විසිනුයි. මේ දානය ප‍්‍රසිද්ධ වුණා ‘අසදිසි දානය’ කියලා.
කොසොල් රජතුමාට ඇමතිවරු දෙන්නෙක් හිටියා. එයින් ‘කාල’ කියන ඇමතියා මෙහෙම හිතුවා.
‘විනාසයි! විනාසයි! ආණ්ඩුව විනාසයි! රජ පවුලත් විනාසයි! දවසකට කෝටි දාහතරක වියදම මේ භික්ෂූන් කරන්නේ හොඳට දානෙ වළඳලා නිදියන එක නෙව.’
‘ජුණ්හ’ කියන ඇමතියා මෙහෙම හිතුවා. ‘හරී පුදුම දානයක්… රජකම් නොකරන කෙනෙකුට නම් මෙබඳු දානයක් කිසිසේත් දෙන්න ලැබෙන්නේ නෑ. හැම සත්වයන්ටම ප‍්‍රාප්ති දානය නොදීමක් නෑ නෙව. එනිසා මං මේ දානය අනුමෝදන් වෙනවා.’
භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අවසානයේ රජතුමාට අනුමෝදනා බණ දෙසීම පිණිස පාත‍්‍රය අතට ගත්තා. මෙහෙම කල්පනා කළා. ‘දැන් මේ රජ්ජුරුවෝ මහා  ඕඝයක් වගේ මහා දානයක් දුන්නා. මෙය මහාජනයාගේ චිත්තප‍්‍රසාදය පිණිස හේතු වුණාද? නැද්ද?’ කියලා බැලූවා.
එතකොට කාල නම් ඇමතියාගේ අමනාප චිත්ත ධාරාව භාග්‍යවතුන් වහන්සේ දැක්කා. යම් හෙයකින් අනුමෝදනා බණ දේශනා කළොත් ඔහුගේ හිස සත් කඩකට පැලෙන බවත් දැක්කා. ජුණ්හ ඇමතියා සෝවාන් ඵලයට පත්වෙන බවත් දැක්කා. නමුත් කාල ඇමතියා කෙරෙහි අනුකම්පාවෙන්ම මෙබඳු වූ මහා දානයක් පූජා කළ අවස්ථාවේදී සතර පද ගාථාවක් පමණක් වදාළා. ආසනයෙන් නැගිට විහාරයට වැඩියා.
එදා රජතුමාට කිසි සතුටක් ඇතිවුණේ නෑ. දුකෙන් හිටියේ. ‘මං මෙබඳු උතුම් සඟ පිරිසකට දානයක් පූජා කරගත්තු අවස්ථාවේ ඊට ගැලපෙන අනුමෝදනා බණක් වදාළේ නැහැ නෙව. එක ගාථාවක් පමණයිනේ වදාළේ. විහාරයට වැඩියා නෙව.’ මගේ අතින් නුසුදුසු විදිහේ දානයක් දුන්නා වත් ද? කැප වූ දෙයක් නොදී අකැප වූ දෙයක් දුන්නා වත් ද? ශාස්තෘන් වහන්සේට මා කෙරෙහි අපහැදීමක් ඇතිවුණා වත් ද? මෙවැනි අසදිස දානයක් දුන්නු වේලෙහි එයට අනුරූප අනුමෝදනාවක් සිදුවුණා නම් කොතරම් වටිනවාද?’
මෙසේ කල්පනා කරමින් සිටි රජතුමා සවස් වරුවේ භාග්‍යවතුන් වහන්සේ මුණගැහෙන්න ගියා. වන්දනා කළා. එකත්පස්ව වාඩිවුණා.
”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම අද පූජා කරගත්තේ නොදිය යුතු දෙයක්ද? දානයට නොගැලපෙන දේවල් දුන්නා වත් ද? කැප සරුප් දේවල් නොදුන්නා වත් ද?”
”ඇයි මහරජ එහෙම කියන්නේ?”
”අනේ ස්වාමීනී, ඔබවහන්සේ අනුමෝදනා බණ වදාළේ නැති එක ගැනයි මම මේ කල්පනා කරන්නේ”
”මහරජ, ඉතා අනුකූළ වූ දානයක් මයි ඔබ දුන්නේ. මේ දානයට කියන්නේ අසදිස දානය කියල නෙව. එක බුදුවරයෙකුට මෙවැනි දාන එකයි ලැබෙන්නේ. මෙබඳු දානයක් පූජා කිරීම ලේසි නෑ.”
”එහෙම නම් ස්වාමීනී, මෙබඳු දානයකට අනුරූප වූ අනුමෝදනා බණක් නොවදාළේ ඇයි?”
”පින්වත් මහරජ, පිරිස අපිරිසිදු නිසයි.”
”ස්වාමීනී, මේ දන් දුන් පිරිස තුළ තිබුණේ කවර අපිරිසිදු කමක් ද?”
එතකොට භාග්‍යවතුන් වහන්සේ ඇමතිවරුන් දෙදෙනා දෙවිදිහකට කල්පනා කළ ආකාරය විස්තර කළා. කාල ඇමතියාට අනුකම්පාවෙන් අනුමෝදනා බණ නොවදාළ බවත් පැහැදිලි කළා.
රජතුමා කාල ඇමතියා ගෙන් මේ කාරණය ඇහුවා. ඔහුත් එසේ කල්පනා කළ බව පිළිගත්තා.
”එම්බල ඇමතිය, නුඹ සතු දේවල් ද මං දුන්නේ? මම අඹු දරුවන් සමඟ මා සතු දෙයක් පූජා කරද්දී නුඹ මේ ගැන පීඩාවට පත්වන්නේ මොකද? භවත, නුඹ මාගේ විජිතයෙන් යා යුතුයි. නුඹට මා යමක් දුන්නාද, එය තවදුරටත් නුඹ සතු වේවා!” කියලා ඔහුව රාජ්‍යයෙන් නෙරපා දැමුවා.
ජුණ්හ ඇමතියා කැඳවා ඔහුගෙනුත් විමසුවා. ඔහු කල්පනා කළ ආකාරය කියා දුන්නා.
”ඉතා හොඳයි! ඔබ කල්පනා කළ අයුරු ඉතා හොඳයි. මං දුන්නා වගේම හත් දවසක් දානෙ දෙන්න” කියලා රජතුමා රාජ බලය පවරලා ශාස්තෘන් වහන්සේට මෙහෙම කිව්වා.
”ස්වාමීනී, මං ඉතා ශ‍්‍රද්ධාවෙන් දුන්නු දානයටත් දුෂ්ට පුද්ගලයාගෙන් පහර වැදුණා නෙව.”
”පින්වත් රජතුමනි, දුෂ්ට පුද්ගලයන් අනුන්ගේ දානයට වත් සතුටු වෙන්නේ නෑ. පරලොවත් අපාගත වෙනවා. නමුත් සත්පුරුෂ නුවණැත්තන් එහෙම නොවෙයි. අනුන්ගේ දානය පවා සතුටින් අනුමෝදන් වෙනවා. සුගතියේ යන්නේ එබඳු අය තමයි.”

 - අසදිසි දාන වත්ථු – ධම්ම පද අටුවාව ඇසුරිනි.


                                                                      http://sri-kaweeshwara.blogspot.com/

No comments:

Post a Comment

ඔබගේ කාරුණික අදහස ලියන්න