සංඝ සමාජය “ඩ්‍රයික්ලීන්” කිරීම
October 12, 2012 at 11:40 am | Lanka C News.

විහාර ප්‍රතිසංස්කරණය, බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම යනාදී කරුණු රාශියකට මුවා වී එක් එක් පුද්ගලයන් දිනකට රුපියල් විසිපන්දහසක් හෝ තිස් දහසක් උපයන බව ගරුතර ස්වාමීන් වහන්සේ පවසති.
ඇත්ත කතාව· අපේ හාමුදුරුවන් වහන්සේ සියයට සියයක්ම නිවැරැදිය. මේ තත්ත්වයට සාමාන්‍ය ගම්වල ජනයා කියන්නේ “පන්සලේ ගේට්ටුව උදාහරණය” යනුවෙනි. එනම් ඇතැම් දුර බැහැර පළාත්වල ඇති පන්සල්වල සිටින දායකයන්ට එහි ඇති ගේට්ටුව මකර තොරණක් බවට පත් කිරීමට වුවමනාය. ඒ සඳහා ආධාර එකතු කිරීමට ටිකට් අච්චු ගසනු ලැබේ. ඒ ටිකට් දවසේ පැය 24 පුරාම, මාසයේ දින 30 පුරාම, අවුරුද්දේ දින 365 පුරාම විකුණනු ලැබේ. එක පරම්පරාවකින් පසු ඊළඟ පරම්පරාව ද මේ ටිකට් විකුණනු ලැබේ. එහෙත් පන්සලේ ගේට්ටුව එහි මුල පටන් ගත් තැනම පවතී. හැදුණ මකර තොරණකුත් නැත. පරම්පරා දෙකක් තිස්සේ එකතු කළ මුදලට සිදු වූ දෙයකුත් නැත.
රුවන්වැල්ලේ සෝභිත ගැන අපි හැම දෙනාම අසා ඇත්තෙමු. සිවුරු පොරවාගෙන සිටි කාලයේදීත් රුවන්වැල්ලේ සෝභිත හිමි නමින් මන්තර ගුරුකම් කරමින් ගාණ කපා ගත් උන්වහන්සේ ඊට පසු සිවුර හැර විත් ගිහි මන්තරකාරයකු බවට පත්ව, නීච රොඩී කුල දැහැනින් සාස්තර කියන පහත්ගම විල්ලියා, කල්ලු මලයාලි ගුරුකම් මගින් තමන් හැර ගිය අය පය පාමුලට ගෙන්වා දෙන කේරළයේ අම්බලකුමාර් (ගම කේරළය වුණත් ඔහු ඉන්නේ කෙයිසර් වීදියේ ය.), හරිගියාම ගාස්තුව ගෙවීමේ ක්‍රමයට ගුරුකම් මගින් සතුරන්ට කෙළවන බණ්ඩාරවෙල ශන්මුගසාමි මෙන් රුවන්වැල්ලේ සෝභිත (මෙවර ‘හිමි’ නැත) යන නමින් පත්තරවල දැන්වීම් දමති. මෙසේ දැන්වීම් දමන ගුරාලා කණ්ඩායමක් ලංකාවේ සිටිති. මේ රැළ අතර හාමුදුරුවන් කිහිප නමක් ද වැඩ වාසය කරති. නීච කුල විල්ලියා සහ බෞද්ධ භික්ෂුන් වහන්සේ අතර වෙනසක් පත්තරවල වැටෙන දැන්වීම්වලින් බලාගත නොහැක. විල්ලියා කරන්නේත් ගුරුකම් යá හාමුදුරුවන් කරන්නේත් ගුරුකම් ය.
එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට වෙඩි තැබූ තල්දූවේ සෝමාරාම චීවරධාරියෙකි. ඔහුට ඒ කොන්තරාත්තුව භාර දුන් මාපිටිගම බුද්ධරක්ත ද චීවරධාරියෙකි. බුද්ධරක්තට නැව් සමාගමක් තිබිණ. භික්ෂුන් වහන්සේ නමකට නැව් සමාගමක් තිබීම කොතරම් දුරට විනයානුකූල දැයි අපි නො දනිමු. පන්සලක් නමට නැව් සමාගමක් තිබිය හැකි ය. එහෙත් බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනකුගේ නමට එබන්දක් තිබිය හැකි ද?
බුද්ධාගම මුදලින් වසා, කාමසුඛල්ලිකානුයෝගයෙන් පිසදමා දායකයන්ට අත්ථකිලමතානුයෝගය ගැන බණ දෙසන සංඝයා වහන්සේලා කොපමණ නම් මේ සමාජයේ වෙත් ද?. සමහරු හීනයානයෙන් මහායානයට හෝ තන්ත්රයානයට පනිති. (මහායානයේත් තන්ත්රයානයේත් පිරිසිදු බුදු දහමට අයත් නැති, බ්රාහ්මනයන් විසින් ඇතුළත් කෙරුණු දුෂ්ට හා වංචනික කොටස් ඇත.) නම වෙනස් කරගෙන විවිධ ‘මොඩ්ල්වලට’ පින්තූර ගෙන ඒවා වෙබ් සයිට්වලට දමති. මෙසේ එහා මෙහා පනින සමහර හාමුදුරුවරුන්ගේ ඇඳුම් විකට ඇඳුම් හා සමාන ය. කරන වැඩවල ද විකට වැඩවලට වඩා වෙනසක් නැත.
මේ රටේ සංඝ සමාජයට සංශෝධනයක් අවශ්‍ය නැත. එහෙත් බෞද්ධ භික්ෂුන් වහන්සේගේ ස්වරූපයෙන් විවිධ වංචා කරන, සාස්තර කියන, ගුරුකම් කරන, කොඩිවින කපන, අනවින හදි හූනියම් කරන, පිරිසිදු බුදු දහම වෙනස් කිරීම සඳහා නොඑක් විකල්ප ආදේශ කරන හොරුන්ට දඬුවම් දීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු ය. අපට ‘තලේබාන්’ වීමට කිසිදු අවශ්‍යතාවක් නැත. අපට වුවමනා සසුනත් බෞද්ධ භික්ෂුව නමැති සංකල්පයත් පිරිසිදු කර පවත්වා ගැනීම ය. ගණින්නාන්සේලාගේ සමාජයක් යළි පැමිණීම වැළැක්වීම ය.
http://sri-kaweeshwara.blogspot.com/
No comments:
Post a Comment
ඔබගේ කාරුණික අදහස ලියන්න