02 February 2016

මෙ තුන් පුද්ගලයන් අතරින් ඔබ කවරෙක්‌ද?

මෙ තුන් පුද්ගලයන් අතරින් ඔබ කවරෙක්‌ද?

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි
‘තයෝ’ මෙ භික්‌ඛවෙ පුග්ගලා සන්තෝ සංවිඡ්ජමානා ලෝකස්‌මිං. කතමෙ තයො? අවකුඡ්ඡ පඤ්ඤොa  පුග්ගලෝ උච්ඡංග පඤ්ඤො පුග්ගලො, පුථුපඤ්ඤොa පුග්ගලෝති’
‘මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක්‌ ලෝකයේ දක්‌නට ලැබෙති. කවර තුන් දෙනෙක්‌ද? අවකුඡ්ඡ පඤ්ඤ පුද්ගලයායි. උච්ඡංග පඤ්ඤ පුද්ගලයාය, පුථුපඤ්ඤ පුද්ගලයායි’.
කාරුණික පින්වත්නි,
ඉහත සඳහන් කරනු ලැබුවේ අංගුත්තර නිකායේ තික නිපාතයේ පුද්ගල වර්ගයේ සඳහන් දහවැනි සූත්‍ර දේශනාවෙහි සඳහන් ආරම්භක ධර්ම කොට්‌ඨාසයයි. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කොට දේශනා කරති. මහණෙනි, අවකුඡ්ඡ පුද්ගලයා යනු කවරෙක්‌ද? මේ ලෝකයෙහි කිසියම් පුද්ගලයෙන් බණ ඇසීමට නිතර භික්‌ෂුන් වෙත යන්නේද, භික්‌ෂුහුද මුල, මැද, අග යහපත් කොට අර්ථ සහිතව, ව්‍යඤ්ජන සහිතව පිරිසිදු සම්පූර්ණ ධර්මය දේශනා කරති. පිරිසිදුවූ බ්‍රහ්මචර්යාවද දේශනා කරත්. මෙම පුද්ගලයා වාඩිවී සිටින්නේ මුල, මැද, අග මෙනෙහි නොකරයි. ‘මහණෙනි, යම් පරිදි යටිකුරු කරන ලද කළයක්‌ වේද, වත්කරන ජලය ගලායන්නේද නතර නොවන්නේද, මේ පුද්ගලයාද එපරිදිමය’.
මෙම අවකුඡ්ඡ පඤ්ඤා නම් වූ පුද්ගලයා පිළිබඳව අපි විමසා බලමු. මෙම පුද්ගලයා නිතර භික්‌ෂු සංඝයා ආශ්‍රය කරයි. එනමුත් මෙම ආශ්‍රය භික්‌ෂුන් වහන්සේ සමග කෙරෙන වැරැදි ආශ්‍රයක්‌ද නොවේ. එනම්, භික්‌ෂුන්ගේ ‘ආවතේව හෝ පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් යොදාගන්නේ නැත. ස්‌වාමින් වහන්සේලා විසින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද පිරිසිදු ධර්මයම දේශනා කරනු ලැබේ. එම දේශනාවේ ආරම්භයත්, මැදත්, අවසානයත් ඉතාම පිරිසිදුය. එනම්, සංස්‌කාර ලෝකයෙහි සංස්‌කාර වස්‌තූන් කෙරේ ඇලෙන්නට නොව සංවේගය පිණිසය. ව්‍යවහාර ලෝකයේ මම, මගේ’ කියා පැවැත්වුවද පරමාර්ථයෙහි පිහිටා මෙනෙහි කරන විට, සියල්ලම අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයට යටත් බව අවබෝධ කරගෙන විරාගී මනසක්‌ ඇතිකරගන්නටය. මෙවිට ‘යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං’ නම්වූ යම් කිසිවක්‌ හටගන්නේ සුළුද ඒ හැම නැසෙන සුළුයි ආදී ලෙසින් නිරෝධය පිළිබඳව අවබෝධයක්‌ ඇතිකරගන්නටය. මේ මානසික අවස්‌ථාව අනුව රාගාදී (ඇලීම්) කෙලෙස්‌ සමනය වෙන්නටය. එනම් මෙලොව සවිඤ්ඤණික, අවිඤ්ඤණික (පණ ඇති හෝ නැති) හැම වස්‌තුවක්‌ම හටගත් අයුරින්ම නැසී යන්නේ නම්, සීලයෙහි පිහිටා මෙලොව පැවැත්ම පිණිස කටයුතු කිරීම විනා, මේවා මගේය, මමය, ස්‌ථිරය, සදාකාලිකය (නිත්‍ය, සුඛයි, ආත්මයි) ලෙසින් උපාදානය කරගැනීම නිරර්ථක බව අවබෝධ කොට දෙන්නටය.
මෙසේ පිරිසිදු ධර්මය දේශනා කළද, මෙම අවකුඡ්ඡ පඤ්ඤාය නම් වූ පුද්ගලයා යටිකුරු කරන ලද කලයක්‌ මතට වතුර වත් කරන්නාක්‌ සෙයින්ම සිතෙහි රඳවා ගන්නේ නැත. ඒ දේශනා කරන ධර්මයෙහි මුල මෙනෙහි නොකරයි. මැද මෙනෙහි නොකරයි. අග මෙනෙහි නොකරයි. වාඩිවී සිටි තැනින් නැගිට්‌ටේද දෙසූ අර්ථ සහිත ව්‍යංජන සහිත පිරිසිදු වූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කළ ධර්මය මෙනෙහි නොකරයි. මෙවැනි පුද්ගලයෙක්‌ ධර්මයෙන් හිස්‌ පුද්ගලයෙකි. හේතුව නම් ඔහු හෝ ඇය විසින් ධර්මය මනසින් නොදැරීම නිසාය. ධර්මය මැනවින් ශ්‍රවණය කොටද සිතෙහි දරාගත් නැතැත්තා පමණක්‌ එම ධර්මය නුවණින් පරීක්‌ෂා කර බලයි.
‘ධතානං ධම්මානං අත්ථං පඤ්ඤාය උපපරික්‌ඛති’ යනුවෙන් ප්‍රකාශ කළේ එයයි. එසේ නොමැතිව ධර්මයෙන් හිස්‌වූ සිතක්‌ හා පැවැත්මක්‌ ඇති පුද්ගලයා ප්‍රශංසා ලැබිය යුතු පුද්ගලයෙක්‌ නොවේ.
දෙවැනි පුද්ගලයා නම්, උච්ඡංග පඤ්ඤා නම් පුද්ගලයාය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. ‘මහණෙනි, මේ ලෝකයෙහි යම්කිසි පුද්ගලයෙක්‌ භික්‌ෂුන් වෙත නිතර දහම් ඇසීම පිණිස ආරාමයට යන්නේ වෙයි. භික්‌ෂුහු ඔහුට මුල, මැද, අග යහපත්කොට අර්ථ සහිත, ව්‍යංජන සහිත සියල්ලෙන්ම සම්පූර්ණ වූ ධර්මය දේශනා කරත්ද, බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරත්ද, හෙතෙම ඒ ආසනයෙහි හිඳ ඒ දේශනාවෙහි මුල, මැද, අග මනාව මෙනෙහි කරයි. එනමුත් ආසනයෙන් නැගිටින විට සිහිමුලාවෙන් බිමට වැටේද එපරිද්දෙනි’ මෙම උච්ඡංග පඤ්ඤා පුද්ගලයා විසින් මැනවින් දේශනා කරන ලද තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය යහපත්ව අසනු ලැබේ. එමෙන්ම මැනවින් මෙනෙහි කරනු ලැබේ. එනමුත් ධර්මය අසා නැගිට යන්නේ සියලුම ඇසූ ධර්මය අමතක කරමිනි. අනුභව කළ යුතු අහර ඔඩොක්‌කුවේ තිබුණත්, ඒවා බිම දමා යන සිහිමුළාවූ පුද්ගලයකු ආකාරයක්‌ විලසිනි. ඔබගේ සිතෙහි ගැටීමක්‌ ඇති නොකොට ගෙන විමසා බලන්න. අප අතරම කොපමණ නම් පිරිසක්‌ ධර්මය අසා සිටින්නේද? තවත් පිරිස්‌ දහම් පතපොත කියවන්නේද? එම අවස්‌ථාවන්හිදී හිතට යම් අවබෝධයක්‌ ඇති කරගත්තත්, පසුව හෝ ඉතා ඉක්‌මනින් ඒ ඇසූ ධර්මය අමතකකොට ප්‍රඥාවෙන්, හීන බාලයෙක්‌ හෝ නුනුවණ ඇත්තෙක්‌ ලෙසින් ක්‍රියා කරයි. එනම් ‘දුච්චින්ති ච හෝති (නපුරු දෙයක්‌ම සිතයි), දුබ්භාසිත භාසි (නපුරු දෙයක්‌ම කතා කරයි), දුක්‌ඛත කම්මකාරී (නපුරු දෙයක්‌ කරයි). නිදසුනක්‌
දක්‌වන්නේ කිසිදු අයෙක්‌ අරමුණක්‌ කරමින් නොවේ. පින්වත් ඔබ ධර්මයට යොමු කරවා ගැනීමේ අරමුණින් පමණක්‌මය. භාවනාවේදී මෛත්‍රිය සඡ්Cධායනා හා පුරුදු කරන යම් යම් අය එදිනෙදා පැවැත්මේදී එම මෛත්‍රිය, කරුණාව, දයාව, අවිහිංසාව පුරුදු නොකරති. පන්සිල් හෝ උසස්‌ සීලයන් සමාදන්වීමට වචනයෙන් කියවා පොරොන්දුවන යම් පිරිස්‌, බොහෝ ඉක්‌මනින් ඒ බව අමතකව කටයුතු කරති. මෙවැනි පුද්ගලයන් ද ධර්මයෙන් හීන උච්ඡංග පඤ්ඤා නම් වූ නාමයට අයත් පිරිස්‌ ලෙස ප්‍රකාශ කරනු ලැබේ.
භාග්‍යවතුන් වහන්සේ තුන්වැනි පුද්ගලයෙක්‌ද දේශනා කරති. එනම් පුථු පඤ්ඤා පුද්ගලයාය. ‘මහණෙනි, මේ ලෝකයේ යම් පුද්ගලයෙක්‌ ධර්මය ඇසීම පිණිස භික්‌ෂුන් වෙතට ආරාමයට නිතර යන්නේ වෙයි. භික්‌ෂුහු ඔහු මුල, මැද, අග යහපත්වූ ධර්මය දේශනා කරති. අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත බ්‍රහ්මචර්යාව දේශනා කරති. මේ පුද්ගලයා වාඩිවී සිටින්නේ මුල, මැද, අග නම් වූ තුන් තැනම මනාව මෙනෙහි කරයි. වාඩිවී සිටි තැනින් හෝ ආසනයෙන් නැඟී සිටියේද ඇසූ ධර්මයෙහි මුල, මැද, අග යහපත්කොට මෙනෙහි කරයි. යම්බඳු කළයක්‌ උඩුකුරු කොට තබන්නේද වත්කරන ජලය මනාව එහි රඳන්නේද, පිටත නොයන්නේද එපරිද්දෙනි. මහණෙනි, මෙම පුද්ගලයා පුථුපඤ්ඤ යෑයි කියනු ලැබේ.’
මෙම පුථුපඤ්ඤ නම් වූ පුද්ගලයා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. තථාගත, අර්හත් වූ බුදුරජාණන් වහන්සේ කෙරේ මහත්වූ ශ්‍රද්ධාවෙන්ද, තුනුරුවන් කෙරේ ගෞරවයෙන්ද ධර්මය ශ්‍රවණය කරයි. රාග, දොaස, මෝහාදී කෙලෙස්‌ දුරු කිරීමේ අදහසින්ම දේශනාවේ මුලට සිත යොමු කරයි. තම ජීවිතයට ගළපා ගනිමින්ව ධර්මය ශ්‍රවණය කරයි. තම සිතට ගළපා ගනිමින්ම දේශනාවේ මැද කොටසට සිත යොමු කරයි. එමෙන්ම තම ජීවිත පැවැත්මෙන්ම ධර්මය දැකීමේ අදහසින්, දේශනාවේ අවසන් කොටසටද සිත යොමු කරයි. මින් අනතුරුව තම ආසනයෙන් හෝ වාඩිවී සිටි තැනින් නැගිටින්නේ අසන ලද ධර්මය සිතෙහි දරාගෙන සහ ඉදිරියට ද එම ඇසූ ධර්මය පවත්වා ගැනීමේ අදහසින්මය. මේ ප්‍රතිපදාව නිසා ඔහු හෝ ඇය විසින් තම ඇලීම්, ගැටීම්, මුළාව ආදී කෙලෙස්‌ සියලු අරමුණුවලදී බැහැරකොට පවත්වා ගැනීමටද මනාව සිහිය පවත්වාගනු ලැබේ. එමෙන්ම සීල, සමාධි, ප්‍රඥ නම් වූ ත්‍රිශික්‌ෂාවන්ට අනුව අරමුණු පවත්වන්නටද ඔහු හෝ ඇය සතිය මැනවින් පවත්වා ගනී, මෙම ධර්ම පරියායට පුරුදු වන ගිහි හෝ පැවිදි බුද්ධ ශ්‍රාවකයා විසින් පරමාර්ථ ධර්මය දැකීමේ මාර්ගයටද අවතීර්ණ වනු ලැබේ.
අනිච්චානුපස්‌සනා – අනිත්‍යය දැකීම
විරාගානුපස්‌සනා – නොඇලීම දැකීම
නිරෝධානුපස්‌සනා – නැතිව යැම, ක්‌ෂයවීම, විනාශය දැකීම
පටිනිස්‌සාග්ගානුපස්‌සනා – අත්හැරීම දැකීම
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. ‘ශ්‍රේෂ්ඨ සංකල්පනා ඇති විචිකිච්ඡා රහිත සිත් ඇති ධර්මානු ධර්මයෙහි පිළිපන් යහපත් වූ මනුෂ්‍යයා, ඒ දුක්‌ කෙළවර කරන්නෙක්‌ වන්නේය.’

No comments:

Post a Comment

ඔබගේ කාරුණික අදහස ලියන්න